දිත්වා නිසා හානි වූ නිවාස සඳහා රු. ලක්ෂ 50 දීම අරඹයි
දිත්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීම සහ එම නිවාස නැවත ඉදිකිරීමට මුල්ගල් තැබීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී අද (09) ආරම්භ විය.
මෙහිදී පූර්ණ නිවාස හානි සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල සංකේතාත්මකව ප්රදානය කිරීම ජනාධිපතිතුමාගේ අතින් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට ලැබී ඇති වාර්තා අනුව සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6,000කට ආසන්න සංඛ්‍යාවක් පූර්ණ ලෙස හානියට පත්ව ඇති බවයි. එම නිවාස ඇතුළු අවදානම් ස්ථානවල පවතින නිවාසද සමගින් මෙම වසර තුළ රජයේ මැදිහත්වීමෙන් නිවාස 25,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිත බව ජනපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
1977 වසරෙන් පසු අඩුම අයවැය පරතරයක් සහිත වර්ෂය ලෙස 2025 වසර පත්ව ඇති මොහොතක මෙවැනි ස්වභාවික විපතක් සිදු වූ බවත්, එවැනි අවස්ථාවක රජයක් ලෙස ජනතාව අතහැර කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, පීඩාවට පත් ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය කැපවී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අවධාරණය කළේය.
මෙහිදී අදහද් දැක් වූ ජනපතිවරයා පැවසුවේ,
ආසන්න වශයෙන් ගත්තොත් ගෙවල් 20,000- 25,000ක් විතර හදන්න සිදුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2026 අයවැය ලේඛණයෙන් තවත් ගෙවල් 31,000ක් විතර හදන්න දාලා තියෙන්නේ සල්ලි. අපේ එක නිවසක් කියන නිවාස ව්‍යාපෘතියේ ඒකේ අපි ගෙවල් 10,000ක් හදනවා ගමක අසරණ කෙනෙක් තෝරලා ගමේ අයගෙත් උදව් ඇතිව අපි දැනට සැලසුම් හදලා තියෙනවා. එහෙම ගත්තාම නිවාස අධිකාරියෙන් විතරක් නිවාස 10,000ක් විතර හදන්න සැලසුම් කරලා තියෙනවා. 2009 යුද්ධය ඉවර වුණාට තාම යුද්ධයෙන් අවතැන් කඳවුරුවල ජීවත් වෙන අය ඉන්නවා. අපි එතනත් අය තෝරගෙන ගෙවල් 2,500ක් හදන්න ලක්ෂ 20 ගානේ දෙන්න වෙන් කරලා තියෙනවා. ඒ වගේම වතුකරයේ ජීවත්වෙන කඳුකර ප්‍රජාව ඒ අයට ගෙවල් හදන්න ඉන්දියානු ආධාර ඇතිව ආණ්ඩුවත් මැදිහත් වෙලා යෝජනා කරලා තියෙනවා. එහෙම ගෙවල් 31,000ක් විතර හදන්න සැලසුම් කරලා තියෙන වෙලාවක තමයි අපිට මේ ව්‍යවසනය තවත් ගෙවල් 20,000-25,000ක් විතර හදන්න සිද්ධ වෙලා තියෙන්නේ.
මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, අමාත්‍ය සුසිල් රණසිංහ, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම, අයවැය අධ්යක්ෂ ජනරාල්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, ප්‍රදේශීය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
